පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පළාතක වාරි පද්ධතියක් යනු බෝග වගාව සඳහා කෘෂිකාර්මික ඉඩම්වලට ජලය සැපයීම සඳහා නිර්මාණය කර ඇති ඇළ මාර්ග, ජලාශ, පොම්ප සහ වෙනත් ව්‍යුහයන්ගේ ජාලයකි වර්ෂාපතන රටා, ජලය ලබා ගැනීමේ හැකියාව සහ භූමි භූ විෂමතාව වැනි සාධක සලකා බලමින් කෘෂිකර්මාන්තය සඳහා ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සහතික කිරීම සඳහා පළාත තුළ ජල සම්පත් කළමනාකරණය කිරීම එයට ඇතුළත් වේ. මෙම පද්ධති ළිං සහ වැව් වැනි කුඩා පරිමාණයේ සම්ප්‍රදායික ක්‍රමවල සිට වේලි සහ විස්තීර්ණ ඇළ මාර්ග ජාලයන් සම්බන්ධ මහා පරිමාණ නවීන ව්‍යාපෘති දක්වා විහිදේ. ඔවුන් පළාතේ ආහාර සුරක්ෂිතතාව, ආර්ථික වර්ධනය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

මෙහෙවර

වී හා අනෙකුත් බෝග අවශ්‍යතාවයන් පළාත තුළින්ම සපුරා ගැනීම උදෙසා ජල අවශ්‍යතාවය සහතික කිරීම මඟින් පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම

අරමුණු

  • සුළු වාරිමාර්ග සංවර්ධනය හා නඩත්තුව තුළින් වී වගාව සඳහා අඛණ්ඩ ජල සැපයුම සහතික කිරීම.

  • පුරන් කුඹුරු අස්වැද්දීම තුළින් වගා වපසරිය වැඩි කිරීම හා පවතින වගා බිම්වල ජල කාර්යක්ෂමතාවය වැඩි කිරීම මගින් වී හා අනෙකුත් බෝගවල නිෂ්පාදනය ඉහළ නැංවීම.

  • උපායමාර්ගික ජලසම්පාදන සැලසුම් මගින් දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තයට වන බලපෑම් අවම කිරීම.

  • තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් දායකත්වය සහතික කිරීම.

සබරගමුව පළාතේ කුඩා වාරිමාර්ග සංයුතිය

දිවයිනේ නිරිත දිගින් පිහිටා ඇති සබරගමුව පළාත විශාලත්වය අතින් 8 වන ස්ථානය ගනී. විශාලත්වය ව.කි.මී 4968කින් සමන්විත වන අතර, පළාත දිවයිනේ සමස්ත ගොඩබිම් ප්‍රමාණයෙන් 7.6%කට හිමිකම් කියයි. සබරගමුව පළාත රත්නපුර සහ කෑගල්ල යන ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්කයන්ගෙන් සමන්විත වේ. සබරගමුව පළාත රත්නපුර සහ කෑගල්ල යන ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්කයන්ගෙන් සමන්විත වේ. රත්නපුර දිස්ත්‍රික්කය විශාලත්වයෙන් ව.කි.මී 3275ක් වන අතර, දිවයිනේ සමස්ත භුමි ප්‍රමාණයෙන් 5% ක් ඊට අයත්ය.

ඊට සාපේක්ෂව කෑගල්ල දිස්ත්‍රික්කය ව.කි.මී 1693කට හිමිකම් කියන අතර එය දිවයිනේ සමස්ත භූමි ප්‍රදේශයෙන් 2.6.%ක් පමණි. පරිපාලන ව්‍යුහය පිළිබඳ සැලකීමේදී රත්නපුර දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 18 කින්ද කෑගල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11කින්ද සමන්විත වේ.. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පිළිවෙලින් මිලි මීටර් 2000-3360 සහ මිලි මීටර් 2500-3000 අතර ප්‍රමාණයකි. මෙවැනි වර්ෂාපතන පරාසයක මෙම පළාත පිහිටීම නිසා ශ්‍රී ලංකාවේ පවතින සියලුම දේශගුණික තත්වයන් මෙහි දක්නට ලැබේ.

ඒ අනුව උඩරට, මැදරට හා පහතරටට විශේෂිත වූ බෝග වර්ග මෙම පළාත තුළ වගා කිරීමේ විභවතාවයක් පැවතීම විශේෂත්වයකි. පළාතේ වෙසෙන මිලියන දෙකක පමණ ජනගහනය අතරින් 70%ක් පමණ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන අතර යැපුම් කෘෂිකර්මාන්තය ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායයි. ඒ අතරින් වැඩි ප්‍රතිශතයක් වී ගොවිතැන සඳහා යොමු වී ඇත..

සබරගමුව පළාත තුළ වී වගාව ප්‍රධාන වශයෙන් මහා වාරි පද්ධති, සුළු වාරි පද්ධති සහ වර්ෂාපෝෂිත මගින් පෝෂණය වේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ රත්නපුර දිස්ත්‍රික්කය තුළ කුඩා වැව් පද්ධති 116ක්ද ඇළ මාර්ග 1777ක්ද අමුණු 895ක් ද පවතී. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කුඩා වැව් පද්ධති 29 ක්ද ඇළ මාර්ග 1383ක්ද අමුණු 1759ක්ද පවතී. මෙම සුළු වාරිමාර්ග පද්ධති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින අතර එම ව්‍යාපෘති සංවර්ධනය හා නඩත්තුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සබරගමුව පළාත් සභාවේ පළාත් ඉඩම් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ සිදු වේ. 

සබරගමුව පළාතේ අභ්‍යන්තර ජලාශ ප්‍රතිශතය

සබරගමුව පළාතේ භූමි පරිභෝජනය